1. ගෝලීය අර්බුදවල මූල හේතු පිළිබඳ බෞද්ධ දාර්ශනික පදනම.

 


1. ගෝලීය අර්බුදවල මූල හේතු පිළිබඳ බෞද්ධ දාර්ශනික පදනම.


අංගුත්තර නිකාය (AN), දසක නිපාතය, බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්‍රයෙහි (AN 10.105) විවරණය අනුව: [1] “අවිජ්ජා, භික්ඛවෙ, පුබ්බඞ්ගමා අකුසලානං ධම්මානං සමාපත්තියා... අවිජ්ජාගතස්ස... මිච්ඡාදිට්ඨි පහොති... මිච්ඡාවිමුත්ති පහොති.” ගාථා විවරණාර්ථය අනුව: අවිජ්ජාව යනු සියලු අකුසල ධර්මයන්ට පූර්වගාමී (පුබ්බඞ්ගමා) වන බලවේගයයි. අවිද්‍යාව (නොදැනීම) නිසා සංඛාර ඇති වේ (අවිජ්ජා පච්චයා සඞ්ඛාරා) සහ එය චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීමයි. අවිද්‍යාවට බැසගත් තැනැත්තාට මිත්‍යාදෘෂ්ටියෙන් ආරම්භ වී, අහිරික (ලජ්ජා නැතිකම) සහ අනොත්තප්ප (පවට බිය නැතිකම) සමඟ මුළු වැරදි දස මාර්ගයම සම්පූර්ණ වේ. උක්ත දේශනා විවරණය අනුව: පාරිසරික/සමාජීය බලපෑම: සබ්බේ සංඛාරා අනිච්චා [2] යන ධර්මය නොදැනීමෙන්, ලෝකය සහ සම්පත් නිත්‍ය ලෙස ගෙන අතිභෝගයෙන් යුතුව සම්පත් නාස්ති කරයි. මෙය දුරදර්ශී නොවීමෙන් යුත් කළමනාකරණයකි. මිච්ඡාආජීව සහ මිච්ඡාකම්මන්ත සමාජයේ ව්‍යාප්ත වේ. යුද්ධ/අන්තර් මානුෂීය බලපෑම: අවිද්‍යාව මුල් කරගත් මිච්ඡාදිට්ඨිය සහ මිච්ඡාසංකප්ප නිසා පක්ෂපාතී දෘෂ්ටි තදින් අල්ලාගැනීමට පෙළඹේ. සංඛාර හරහා සමූහ අවිවේකය ඇති වී, මිච්ඡාවාචා සහ මිච්ඡාකම්මන්ත යුද්ධමය තත්ත්වයන්ට මුල පුරයි.

 මෙම ක්ලේශයන් පුද්ගලයා තුළම හටගෙන (අත්‌තසම්‌භූතා)ඔහුටම හානි කරයි. ඉතිවුත්‌තකපාළි, තික නිපාතය, අකුසලමූල සූත්‍රයෙහි (Iti 50) විවරණය අනුව:[3] “තීණිමානි,භික‍්ඛවෙ,අකුසලමූලානි. කතමානි තීණි? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං – ඉමානි ඛො, භික‍්ඛවෙ,තීණි අකුසලමූලානී’’ති. ගාථාව විවරණාර්ථය අනුව: “ලොභො දොසො ච මොහො ච, පුරිසං පාපචෙතසං; හිංසන්‌ති අත්‌තසම්‌භූතා,තචසාරංව සම්‌ඵලන්‌ති.” (සිතෙහි හටගත් ලෝභ, ද්වේෂ, මෝහ යන මොහු පව් අදහස් ඇති පුරුෂයා පෙළත්. එනම්, තචසාර වෘක්ෂය ස්වකීය ඵලයෙන් නසන්නාක් මෙනි.) අකුසල මූලයන් පුද්ගලයා තුළම හටගෙන (අත්‌තසම්‌භූතා),අවසානයේදී පුද්ගලයාටම හානි කරයි. උක්ත දේශනා විවරණය අනුව:ලෝභය (රාග): ලෝභය, තෘෂ්ණාව දක්වා වර්ධනය වී, භූමිය, සම්පත් සහ බලය අල්ලාගැනීම සඳහා වන තරඟය නිසා යුද්ධ සහ දූෂණය ඇති වේ. යටි සිතේ කාමරාගානුසය සහ භවරාගානුසය පෝෂණය වේ. දෝසය (ද්වේෂ): ද්වේෂය, විනාශයට සහ ප්‍රතිඝාතයට මූලික වේ. සිතෙහි ව්‍යාපාද සහ කෝපය හට ගැනීම නිසා ප්‍රතිශෝධය අන්තර් මානුෂීය ගැටලුවලට (යුද්ධ) හේතු වේ. “න හි වෙරෙන වෙරානි” [4] ධර්මයට පටහැනිව ගැටුම් දිගු කරයි. මෝහය: සියලු අකුසලයන්ට මූලය වන අවිද්‍යාවේ ඵලයයි. අයෝනිසෝ මනසිකාරය මගින් යථාර්ථය වැරදියට වටහා ගැනීම නිසා ප්‍රතිඵල නොබලා තීරණ ගැනීම, අන්ධ අනුගාමිකත්වය සහ අසත්‍ය ප්‍රචාර විශ්වාස කිරීම සිදු වේ. යථාර්ථය පිළිබඳ අවබෝධ අන්ධකාරය නිසා මෛත්‍රී/කරුණා අවම වේ.

 

අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, විපල්ලාස සූත්‍රයෙහි (AN 4.49) විවරණය අනුව: [5] “අනිච්චෙ, භික්ඛවෙ, නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො.” ගාථා විවරණාර්ථය අනුව: සඤ්ඤාවිපල්ලාසය: අනිත්‍යයෙහි නිත්‍ය යැයි සංඥා කිරීම (මූලික දැනුම). චිත්තවිපල්ලාසය: අනිත්‍යයෙහි නිත්‍ය යැයි සිත යෙදීම (චිත්තයේ ක්‍රියාකාරීත්වය). දිට්ඨිවිපල්ලාසය: අනිත්‍යයෙහි නිත්‍ය යැයි දෘෂ්ටියක් ඇති කර ගැනීම (ස්ථිර මතය). උක්ත දේශනා විවරණය අනුව: සම්පත්, බලය හෝ තනතුරු සදාකාලික යැයි වැරදි ලෙස ග්‍රහණය කර ගැනීම නිසා අධික පරිභෝගය සහ අනාගත පරම්පරා කෙරෙහි වගකීමක් නොමැතිව වගකීම් විරහිත ප්‍රතිපත්ති අනුගමනය කිරීම සිදු වේ. මෙම මිථ්‍යාදෘෂ්ටිය විසින් ලෝභය සහ තණ්හාව පෝෂණය කරමින් අනිත්‍ය වූ සම්පත් අල්ලාගැනීමට යොමු කරයි.

 සංයුත්තනිකායෙ වේදනා සංයුත්තය,පරිවීමංසනසුත්තං (SN 36) විවරණය අනුව: [6] : “සො සුඛං චෙ වෙදනං වෙදයති, සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති...” දුක්ඛෙ සුඛන්ති සඤ්ඤාවිපල්ලාසො යනු අනිත්‍ය වූ සංස්කාරයන් තුළ සදාකාලික සැපක් ඇතැයි වැරදි ලෙස සංඥා කිරීමයි. ගාථා විවරණාර්ථය අනුව: හෙතෙම ඉදින් සැප වේදනාවක් විඳීද, ඒ වේදනා තොමෝ අනිත්‍යයයි දැනගනී. (තණ්හා වශයෙන්) වැදගැනීම නුසුදුසුයයි දැනගනියි, සතුටුවීමට නුසුදුසුයයි දැනගනියි. (දුක් වේදනා සහ නොදුක් නොසැප වේදනාව ද එලෙසම අනිත්‍ය යැයි දැනගත යුතුය.) උක්ත දේශනා විවරණය අනුව: සීමා රහිත කාමසුඛය තුළ සදාකාලික සතුට ඇතැයි විශ්වාස කිරීමෙන් අතිභෝගයෙන් දුක්ඛඵල අත් වේ. වේදනා තුන අනිත්‍ය බව නොදැනීමෙන් අවිවේකී සහ අසන්තෘප්ත මානසිකත්වයකට මග පාදයි. මෙය කාමරාගානුසය සහ භවරාගානුසය දැඩි ලෙස පෝෂණය කරයි.

 මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසය 1.දෙවදහවග්ගො 9 මහාපුණ්ණමසුත්තං (MN 109) විවරණය අනුව[7] : “භික්ඛු, වෙදනං පටිච්ච... සඤ්ඤං පටිච්ච... උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණෙ අස්සාදො.” ගාථා විවරණාර්ථය අනුව: සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි ආශ්වාදය වේ. උක්ත දේශනා විවරණය අනුව: සුභ-සඤ්ඤාව ප්‍රධාන වශයෙන් කාමරාගානුසය සහ භෞතිකවාදය උග්‍ර කරයි. අධික භාවය සහ පරිභෝජනය: භෝග වස්තු 'සුභ' (අලංකාර) යැයි පරිකල්පනය කිරීමෙන් ඒවා කෙරෙහි ඡන්දරාගය තදින් ඇති වේ. මේ හේතුවෙන් අධික ලෙස එකතු කිරීමට සහ නිරන්තරයෙන් අලුත් කිරීමට පෙළඹීමෙන් පාරිසරික සම්පත් නාස්තිය සිදුවේ. යුද්ධ/අන්තර් මානුෂීය: අපගේ පක්ෂය/සංකේත අතිශයින්ම පවිත්‍ර/සුභ යැයි ගෙන, එයට හානි කරන්නවුන් විනාශ කළ යුතුය යන දෘෂ්ටිගත අතිශයෝක්ති (මෝහ + දෝස) ඇති කරයි. ආසක්තිය සහ වේදනාව: නාම-රූපයෙහි අසුභාභාව නොදැක, ඇලීම ඇති කර ගනියි. යං සඤ්ඤං අනිච්චං, දුක්ඛං,විපරිණාමධම්මං (අනිත්‍ය, දුක් සහිත, පෙරළෙන ස්වභාවය) බව නොදැනීමෙන් එම වස්තුව වෙනස් වූ විට දුක් වේදනා ඇති වේ.

සංයුත්ත නිකාය සළායතන වග්ගෝ 1.9.2.සුඤ්ඤලෝක සුත්‍රයෙහි (SN 35.85) විවරණය අනුව[8] : “අත්තේන වා අත්තනියේන වා. යස්මා ච ඛෝ, ආනන්ද,සුඤ්ඤං අත්තේන වා අත්තනියේන වා, තස්මා සුඤ්ඤෝ ලෝකෝති වුච්චතීති.” ගාථා විවරණාර්ථය අනුව: ආත්මයෙනුත්, ආත්මයකට අයත් දෙයිනුත් ශූන්‍යයි (හිස්) වෙයි ද, අන්න ඒ නිසයි ලෝකය ශූන්‍යය යි කියලා කියන්නේ. උක්ත දේශනා විවරණය අනුව: අන්තර් මානුෂීය/යුද්ධ බලපෑම: ලෝකයේ ශූන්‍යතාව නොදැනීම නිසා 'අපි - ඔවුන්' බෙදීම ශක්තිමත් කරයි. ජාති/ගෝත්‍ර මත හිමිකම් තදින් අල්ලාගැනීමෙන් ද්වේෂය පෝෂණය වී ගැටුම් ඇති වේ. පාරිසරික බලපෑම: 'අපගේ' සම්පත් යැයි සිතා, වෙනත් සමාජවල අයිතිය නොතකා සම්පත් අල්ලාගැනීම සහ අධික ලෙස සූරා කෑම සිදු වේ.


පාදක සටහන් (Footnotes)

[1] අංගුත්තර නිකාය, දසක නිපාතය, බොජ්ඣඞ්ගතෙවිජ්ජා සූත්‍රය (AN 10.105).

[2] සබ්බේ සංඛාරා අනිච්චා: ධම්මපදයේ මග්ග වග්ගයට (ගාථා 277) අනුව සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය.

[3] ඉතිවුත්‌තකපාළි, තික නිපාතය, අකුසලමූල සූත්‍රය (Iti 50).

[4] න හි වෙරෙන වෙරානි: ධම්මපදය, යමක වග්ගය, 5 වන ගාථාව.

[5] අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, විපල්ලාස සූත්‍රය (AN 4.49).

[6] සංයුත්ත නිකාය, වේදනා සංයුත්තය, පරිවීමංසන සුත්ත (SN 36.31 ආශ්‍රිත).

[7] මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, මහාපුණ්ණම සුත්ත (MN 109).

[8] සංයුත්ත නිකාය, සළායතන වග්ගය, සුඤ්ඤලෝක සුත්‍රය (SN 35.85).

 

Comments

Popular posts from this blog

2.2. අවදානම් උත්පාදනය හා උපාය මාර්ගීක තීරණවලට බලපාන මූල හේතූන් පිළිබඳ බෞද්ධ දාර්ශනික පදනම.

A Mathematical and Philosophical Redefinition of Management based on the Law of Impermanence (Anicca)

බෞද්ධ කළල විද්‍යාව හා නූතන කළල විද්‍යාව. Beyond Biology: The Ancient Science of Buddhist Embryology