"ආළවක දමනය: උපායමාර්ගික ගැටුම් නිරාකරණය සහ මනෝ-කළමනාකරණය පිළිබඳ බෞද්ධ ප්‍රවේශය" (Alavaka Damana: A Buddhist Approach to Strategic Conflict Resolution and Psycho-Management)
හැදින්වීම.
බෞද්ධ දර්ශනය අනුව "කළමනාකරණය යනු, අනිත්යතාව (Impermanence) නැමැති පරම යථාර්ථය මත පදනම්ව යමක ආරම්භය, වෙනස් වෙමින් පැවතීම සහ එහි නිරෝධය යන යථාර්ථය අනිත්යතාවයට යොමු කොට පුද්ගල ලෞකික හා අධ්යාත්මික අනිත්යතා දර්ශනයේ උච්චතම ඵලයට ළඟා කරවීමේ කලාව වේ."(පියනන්ද හිමි.) නූතන කළමනාකරණ විද්යාව තුළ "ගැටුම් නිරාකරණය" (Conflict Resolution) යනු තාක්ෂණික උපක්රම සමුදායකි. එහෙත් බුදු සමය තුළින් ප්රකට වන ආළවක දමනය යනු ඊට එහා ගිය, මිනිස් සිතේ ගැඹුරු ස්ථර ස්පර්ශ කරන මානව පාලන දර්ශනයකි. නිර්වචනයට අනුව කළමනාකරණය යනු අනිත්යතාව (A) නැමැති පරම යථාර්ථය මත පදනම්ව, යමක ආරම්භය, පැවතීම සහ නිරෝධය යන අවස්ථා කළමනාකරණය කරමින් ලෞකික හා අධ්යාත්මික උච්චතම ඵලය කරා ළඟාවීමේ කලාවයි.
ආළවකයාගේ ප්රචණ්ඩත්වය යනු රෝගී සිතක ලක්ෂණයක් (Clinical Symptom of Ignorance) ලෙස හඳුනා ගැනීම බුදුන් වහන්සේගේ පළමු කළමනාකරණ පියවරයි. මෙහිදී අනිත්යතාවයේ "ආරම්භය" පිළිබඳ දර්ශනය භාවිත වේ. ප්රචණ්ඩත්වය යනු නිත්ය ස්වභාවයක් නොව, අවිද්යාව හේතුවෙන් හටගත් (ආරම්භ වූ) අනිත්ය ධර්මයකි. නායකයෙකු ලෙස බුදුන් වහන්සේ එම ප්රචණ්ඩත්වයේ "හටගැනීමට" හේතුවන මූලයන් හඳුනා ගත් සේක. "වෛරයෙන් වෛරය නොසංසිඳේ" යන උපායමාර්ගය හරහා උන්වහන්සේ සිදු කළේ පවතින ගැටුමට අලුත් හේතු (New Causes) එකතු නොකර, එම ගැටුම පෝෂණය වන මූලයන් සිඳ දැමීමයි.
ආළවකයාගේ කෝපය ඔහු තුළම හටගෙන (අත්ථසම්භූත) ඔහුටම හානි කරන බව බුදුන් වහන්සේ දුටු සේක. මෙය අනිත්යතාවයේ "වෙනස් වෙමින් පැවතීම" පිළිබඳ අවස්ථාවයි. කෝපය යනු මොහොතක් පාසා වෙනස් වෙමින් ගලායන සිතේ ශක්තියකි. නායකයෙකුගේ බලය පදනම් වන්නේ බාහිර ආයුධ මත නොව තමාගේ සිත පාලනය කර ගැනීම (Self-Governance) මතය. බාහිරින් ආළවකට අවනත වූවද, අභ්යන්තරයෙන් උන්වහන්සේගේ සිත අකම්පිතව පැවතීම තුළින් පෙන්වා දෙන්නේ "ලෝකය ජය ගැනීමට පෙර තමාගේ අනිත්ය වූ සිත ජය ගැනීම" සැබෑ කළමනාකරණ බලය බවයි.
බුදුන් වහන්සේ සිව්වන වතාවේදී "නැත" යැයි පැවසීම තුළින් අනිත්යතාවයේ "නිරෝධය" සහ "හේතු-ඵල ධර්මයන්ගේ විනාශය" පිළිබඳ යථාර්ථය පෙන්වා දෙයි. නම්යශීලී බව (Flexibility) යනු දුර්වලකමක් නොව, තත්ත්වයන්ගේ විපරිණාමය හඳුනා ගැනීමයි. එහෙත් අවසාන මොහොතේ දැඩි වීම (Assertiveness) තුළින් බුදුන් වහන්සේ ප්රකට කළේ අහිතකර හේතු-ඵල ජාලයක අවසානය (Termination of causal chain) සනිටුහන් කළ යුතු ආකාරයයි. අහංකාරය සහ අස්මිමානය දිය කර හරිමින්, ගැටුම බුද්ධිමය සංවාදයකට ගෙන ඒම හරහා බුදුන් වහන්සේ ප්රතිවාදියා තුළ සිටි 'සතුරා' (ක්ලේශයන්) නිරෝධය කළ සේක.
"ආළවක දමනයෙහි: උපායමාර්ගික ගැටුම් නිරාකරණය සහ මනෝ-කළමනාකරණය පිළිබඳ බෞද්ධ ප්‍රවේශය "කළමනාකරණය යනු, මනාව හික්මවන ලද සිතක් පදනම් කරගෙන (Mental Discipline), ප්රචණ්ඩත්වය ප්‍රඥාව බවටත් (Transformation of Conflict), ප්රතිවිරෝධතාවය සහයෝගීතාවය බවටත් (Synergy) පරිවර්තනය කරමින්, පොදු යහපත හා ආධ්යාත්මික සංවර්ධනය උදෙසා මිනිස් ශක්තිය මෙහෙයවීමේ උත්තරීතර කලාවයි." විශේෂයෙන්ම “ආළවක සූත්රය” මෙම නව දාර්ශනික ප්රවේශය, එම නිර්වචනය ප්‍රායෝගිකව ක්රියාත්මක වන ආකාරය පෙන්වන විශිෂ්ට "නඩුවක්" (Case Study) බඳුය.එම නිර්වචනයත් මෙම දාර්ශනික කරුණුත් ගළපා සකස් කළ “විද්‍යාත්මක හා දාර්ශනික ප්රවේශය” පහත පරිදි වේ:
ප්රවේශය:
සංයුක්ත නිකායේ සගාථ වග්ගයෙහි 10.1.12. ආළවක සුත්‍රය පදනම් කරගෙන බුදුන් වහන්සේ භාවිතා කළ ප්‍රයෝගීක කළමනාකරණ මූල ධර්මයන් හා භාවිතයන් විවරණය කරමින් එහි නූතන උපයෝගීතාවය විවරණය කිරීම මෙහි මූලික අභිප්‍රායවන අතර පාඨයන් ලෙස කූමන ජාතියක හෝ ආගමක හෝ සමාජ ස්ථරයක් පදනම් කරගන මෙම විවරණය බැලුවද එහිදී “ දිට්ඨේ දිට්ඨ මත්තං භවිස්සති සුතෙ සුතමත්තං භවිස්සති” යන බුදුවද අනුව ඔබේ ප්‍රායෝගීක ජීවන දර්ශනයමත පදනම්ව මෙහි අර්ථානුසාරය හා ඉගැන්වීම තම ප්‍රායෝගීක ජීවන දර්ශනයට ප්‍රතිබද්ධ කරගන්නා ලෙස මෙත් සිතින් පළමුව දනවා සිටිමි.ඒ අනුව උක්ත සූත්‍රයේ ප්‍රධාන කරුණු 05 ක් පදනම් කරගෙන පහත පරිදී මෙම විවරණය කරනු ලැබේ.
1. ගැටුම් සමනය කිරීමේ ප්‍රවේශය (Conflict De-escalation)
2. මනෝවිද්‍යාත්මක නායකත්ව බලය (Psychological Dominance)
3. සීමා නිර්ණය කිරීමේ ප්‍රවේශය (Boundary Setting)
4. ගැටලුව බුද්ධිමය මට්ටමකට පරිවර්තනය කිරීම (Reframing the Conflict)
5.බෞද්ධ කළමනාකරණයෙහි අභිප්‍රාය හා දැක්ම: පුද්ගල පරිවර්තනය සහ කළමනාකරණ ඉලක්ක (Mission and Vision)
1. ගැටුම් සමනය කිරීමේ ප්‍රවේශය (Conflict De-escalation)
මෙම ප්‍රවේශය මගින් ප්‍රචණ්ඩ හෝ ප්‍රකෝපකාරී තත්ත්වයක් බුද්ධිමය සංවාදයකට හැරවිය හැකි ආකාරය පෙන්වා දෙයි. ආළවකයා සිටියේ අතිශය ප්‍රකෝපකාරී මානසික මට්ටමකයි. නායකයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ මෙහිදී "ප්‍රතිරෝධය අවම කිරීමේ" (Minimal Resistance) උපක්‍රමය භාවිත කළ සේක. [1] එහි දී න්‍යයාත්මක පදනම (The Theory) ලෙස චිත්තවේගී රේචනය (Emotional Catharsis): පුද්ගලයෙකුගේ චිත්තවේගී ආවේගය උච්චතම අවස්ථාවේ (Peak) පවතින විට, තර්ක කිරීමෙන් පලක් නැත. එම ආවේගය "නිදහස් වීමට" (Drain out) ඉඩ හැරීම හරහා මානසික පීඩනය අවම කළ හැකිය. [2] ප්‍රවේශය: ප්‍රතිවාදියා දැඩි ආවේගයකින් සිටින විට ඔහුට එරෙහි වීමෙන් එම ආවේගය තවදුරටත් වර්ධනය වේ. බුදුන් වහන්සේ ඔහුට අවනත වීම හරහා ඔහුගේ කෝපයට තිබූ "ඉලක්කය" (Target) අහිමි කළ සේක. [3] කාලය සහ අවකාශය (Time & Space Theory): ගැටුමක් හමුවේ ක්ෂණික විසඳුම් සෙවීමට වඩා, ප්‍රතිවාදියාට ස්වයං-සංවරය වීම සඳහා අවශ්‍ය කාලය සහ මානසික නිදහස ලබා දීම. [4] පහත සූත්‍රානුගත නිදසුන් විවරණයන් තුළින් ඉහත කරුණු ප්‍රතීයමානවේ. [5]
“නික්‌ඛම සමණාති, සාධාවුසෝති භගවා නික්‌ඛමි. පවිස සමණාති, සාධාවුසෝති භගවා පාවිසි. දුතියම්‌පි ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්‌තං ඒතදවෝච. නික්‌ඛම සමණාති. සාධාවුසෝති භගවා නික්‌ඛමි. පවිස සමණාති. සාධාවුසෝති භගවා පාවිසි. තතියම්‌පි ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්‌තං ඒතදව1ෝච. නික්‌ඛම සමණාති. සාධාවුසෝති භගවා නික්‌ඛමි. පවිස2 සමණාති. සාධාවුසෝති භගවා පාවිසි.”3
විවරණාර්ථය: “එකල්හි ආළවක යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ශ්‍රමණය, පිටතට නික්මෙව.” “යහපති ඇවත” කියා භාග්‍යවතුන් වහන්සේ පිටතට නික්මුන සේක. “ශ්‍රමණය, ඇතුළට පිවිසෙව.” “යහපති ඇවත” කියා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට පිවිසි සේක... (තුන්වෙනි වතාවටත්)... “යහපති ඇවත” කියා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට පිවිසි සේක.”
ඉහත සූත්‍රගත නිදසුන් විවරණය පාදක කරගෙන පහත විමර්ශනශීලි කරුණු කීපයක් අධ්‍යයන කළ හැකිය. උපායමාර්ගික ප්‍රවේශය (The Strategic Approach) ප්‍රතිරෝධය අවම කිරීම (Minimal Resistance): ප්‍රතිවාදියාගේ ප්‍රහාරාත්මක චර්යාවට ඍජුව එරෙහි නොවී, නම්‍යශීල වීම. මෙලෙස බුදුන් වහන්සේ ආළවකගෙ අණට කීකරුවීම තුළින් ඉලක්කය ඉවත් කිරීම (Target Removal): ඔහුගේ කෝපය මුදා හැරීමට තිබූ "ඉලක්කය" (සාධකය) අහිමි කළ සේක. ඉලක්කයක් නොමැති වූ විට කෝපය ඉබේම දියවී යයි. [6]
ක්‍රමවේදය සහ උපක්‍රම (Methodology & Tactics)
උපක්‍රමය: ආවේගයට අවනත වන බව පෙන්වීම (Apparent Submission)
ක්‍රමවේදය:
1. බාහිරින් ලැබෙන නියෝග හෝ චෝදනා අවිවාදයෙන් පිළිගැනීම.
2. ප්‍රතිවාදියාගේ ආධිපත්‍යය (Dominance) තහවුරු කිරීමට ඉඩ දීම.
3. නිහඬව සහ සන්සුන්ව කටයුතු කරමින් ප්‍රතිවාදියාගේ "සටන්කාමී උත්තේජනය" නැති කිරීම.
කළමනාකරණ උපයෝගීතාවය (Management Applications)
නූතන කළමනාකරණ විද්යාව තුළ මෙම ප්රවේශය ප්‍රායෝගිකව යොදාගත හැකි ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි. එහිදී චරිත කළමනාකරණයේදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ සේවකයාගේ හෝ පාරිභෝගිකයාගේ 'ඊගෝව' (Ego) නිවැරදිව කළමනාකරණය කිරීම කෙරෙහි ය. [7] පාරිභෝගික සේවය සම්බන්ධයෙන් බලන කල, දැඩි කෝපයෙන් හෝ අසහනයෙන් පැමිණෙන පාරිභෝගිකයෙකු ඉදිරියේ තර්ක කිරීම ගැටලුව තවදුරටත් උග්‍ර කිරීමට හේතු වේ. ඒ වෙනුවට, බුදුරජාණන් වහන්සේ ආළවක ඉදිරියේ අනුගමනය කළ ක්‍රමවේදය අනුව, මුලින් ඔවුන්ගේ පැමිණිලිවලට එකඟ වෙමින් හෝ අවධානයෙන් සවන් දෙමින් ඔවුන්ව සන්සුන් කිරීම කළමනාකරුගේ වගකීමකි. සේවාස්ථ ගැටුම් නිරාකරණය කිරීමේදී ද මෙම ක්‍රමවේදය අතිශය සාර්ථක වේ. සේවකයන් අතර ඇතිවන උණුසුම් වාද විවාදවලදී කළමනාකරුවෙකු ක්ෂණිකව තීන්දුවක් දීමට වඩා, දෙපාර්ශවයටම තම අදහස් නිදහස් කිරීමට (Vent out) අවශ්‍ය ඉඩකඩ සලසා දිය යුතුය. මෙය මානසිකව පීඩනය බැහැර කිරීමේ "කැතර්සිස්" ක්‍රියාවලියට සමාන වන අතර, ඒ හරහා ගැටුම්කාරී පාර්ශවයන් තුළ පවතින ද්වේෂය අවම කර සංවාදමය විසඳුම් කරා යා හැකිය. [8] අවසාන වශයෙන්, පීඩන කළමනාකරණයේදී (Stress Management) ක්ෂණික සහ ආවේගාත්මක තීරණ ගැනීම වෙනුවට, "කාලය සහ අවකාශය" (Time and Space) කළමනාකරණය කිරීම ඉතා වැදගත් වේ. ප්‍රතිඵලය: මෙම ක්‍රියාවලිය හරහා ආළවකයාගේ මෙන් ඕනෑම පුද්ගලයෙකුගේ චිත්තවේගී ආවේගය (Emotional Surge) පහව ගොස්, සන්සුන්ව සහ තර්කානුකූලව සිතන මට්ටමට (Rational Thinking) ඔහු පත් කර ගත හැකිය. [9]
2. මනෝවිද්‍යාත්මක නායකත්ව බලය (Psychological Dominance)
නායකයෙකු සැමවිටම තම බලය පෙන්විය යුත්තේ ශක්තියෙන් නොව, බුද්ධියෙනි. ප්‍රවේශය: බුදුරජාණන් වහන්සේ ඔහුට කීකරු වූයේ බිය නිසා නොව, "අරමුණක් සහිතව" (Purposefully) ය. එමගින් ආළවකයාට "මම ජයග්‍රහණය කළා" යන මානසික තෘප්තිය (Psychological Satisfaction) ලැබීමට ඉඩ හැරියේය. මෙම ප්‍රවේශය මගින් පෙන්වා දෙන්නේ නායකයෙකු සතු සැබෑ බලය පවතින්නේ බාහිරින් පෙන්වන ශක්තිය මත නොව, ප්‍රතිවාදියාගේ මනස මෙහෙයවීමේ බුද්ධිමය හැකියාව මත බවයි. [10]
න්‍යායාත්මක පදනම (The Theory)
තත්ත්වානුකූල නායකත්වය (Situational Leadership): නායකයා එකම ස්වරූපයක සිටිනවා වෙනුවට, අවස්ථාවට අනුව නම්‍යශීලී (Submissive) සහ ස්ථාවර (Assertive) භාවය අතර දෝලනය වීම. [11] ජයග්‍රහණයේ මිථ්‍යාව (The Illusion of Victory): ප්‍රතිවාදියාට ජයග්‍රහණය කළ බවට මානසික තෘප්තියක් ලබා දීම හරහා ඔහුගේ ආක්‍රමණශීලී ස්වරූපය (Fighting Spirit) ලිහිල් කිරීමේ න්‍යාය.
උපායමාර්ගික ප්‍රවේශය (The Strategic Approach)
අරමුණු සහගත අවනතභාවය (Purposeful Compliance): බුදුරජාණන් වහන්සේ ආළවකට කීකරු වූයේ බිය නිසා නොව, නිශ්චිත අරමුණක් සහිතවය. මෙය නායකයෙකු සතු "ස්වයං පාලනය" (Self-Control) පිළිබඳ ප්‍රබල ප්‍රවේශයකි. [12] දෙමුහුන් කළමනාකරණය (Hybrid Management): ඕනෑවට වඩා මෘදු හෝ ඕනෑවට වඩා දැඩි නොවන, නම්‍යශීලී බව සහ ස්ථාවරත්වය යන දෙකෙහිම සංකලනයක් සහිත ප්‍රවේශයකි.
ක්‍රමවේදය සහ උපක්‍රම (Methodology & Tactics)
උපක්‍රමය: මුල් අවස්ථා වලදී අතිශය නම්‍යශීලී වී (Flexibility), තීරණාත්මක මොහොතේදී අතිශය ස්ථාවර (Assertive) වීම. ඒ බව සූත්‍රගත පහත විවරණ සන්නිදර්ශනය තුළින් විද්‍යමානවේ.
“චතුත්‌ථම්‌පි ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්‌තං ඒතදවෝච. නික්‌ඛම සමණාති. න ඛ්‌වාහං ආවුසෝ නික්‌ඛමිස්‌සාමි. යං තේ කරණීයං තං කරෝහීති.”
[13] විවරණාර්ථය: සිව්වෙනි වතාවටත් ආළවක යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ශ්‍රමණය, පිටතට නික්මෙව.” “ඇවත, මම් පිටතට නො නික්මෙන්නෙමි. තා විසින් යමක් කළයුත්තේ නම් එය කරව.”
කළමනාකරණ උපයෝගීතාවය (Management Applications)
[14] නූතන කළමනාකරණ සන්දර්භය තුළ මෙම ප්රවේශය ප්රායෝගිකව ක්රියාත්මක කළ හැකි ආකාර කිහිපයකි. එහිදී චරිත කළමනාකරණයේදී සේවකයාට තමාට අවස්ථාව ලැබෙන බව හැඟවීමට ඉඩ දෙමින් ඔවුන්ගේ ස්වාධීනත්වයට (Autonomy) ගරු කිරීම ඉතා වැදගත් වේ. එමගින් සේවකයා තුළ පවතින මානසික ප්රතිරෝධය අවම කර, නායකයා අපේක්ෂා කරන අවසන් ඉලක්කය කරා ඔවුන්ව සූක්ෂ්ම ලෙස මෙහෙයවිය හැකිය. සාකච්ඡා සම්මුති (Negotiations) පවත්වන අවස්ථාවලදී ද මෙම උපක්රමය බෙහෙවින් ඵලදායී වේ. එහිදී සාකච්ඡාවක ආරම්භයේදීම ප්රතිවාදී පාර්ශවයේ ඉල්ලීම්වලට සවන් දී ඔවුනට නිසි ගරුත්වය ලබා දීම හරහා ඔවුන් තුළ පවතින "සටන්කාමී ස්වරූපය" ලිහිල් කිරීමට නායකයාට හැකියාව ලැබේ. මෙම මානසික ලිහිල්භාවය අවසානයේ තමාට වාසිදායක තීන්දුවක් වෙත ඔවුන්ව එකඟ කරවා ගැනීමට මග පාදයි.
මීට අමතරව, සාර්ථක බල කළමනාකරණයකදී නායකයා සැමවිටම දැඩි ස්වරූපයක් (Aggressive) නොගෙන, නම්යශීලී විය යුතු තැන් සහ ස්ථාවර විය යුතු තැන් නිවැරදිව හඳුනාගත යුතුය. මෙය නායකයාගේ පෞරුෂ සංවර්ධනයට ද සෘජුවම බලපාන කරුණකි. සැබෑ නායකයෙකු යනු බිය නිසා නොව, උපායමාර්ගික අරමුණක් සහිතව නම්යශීලී විය හැකි ශක්තිමත් මනෝභාවයක් ඇති කරගත් තැනැත්තෙකි. මෙවැනි ක්රමවේදයක් අනුගමනය කරමින් නායකයෙකු නිසි මොහොතේදී (හතරවන අවස්ථාව මෙන්) සිය ස්ථාවරත්වය ප්‍රකාශ කරන විට, එයට ලැබෙන වටිනාකම සහ අවධානය අතිශය ඉහළ වේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ප්‍රතිවාදියා හෝ සේවකයා බුද්ධිමය වශයෙන් දමනය වී, පොදු අරමුණක් සඳහා ස්වේච්ඡාවෙන් දායක වීමයි.
3. සීමා නිර්ණය කිරීමේ ප්‍රවේශය (Boundary Setting)
සැබෑ නායකයා නම්‍යශීලී වන්නේ යම් සීමාවකට පමණි. අවස්ථා තුනක් ඔහුට ඉඩ දී සතරවන අවස්ථාවේදී "නැත, මම නොනික්මෙන්නෙමි" කියා පැවසීම ඉතා වැදගත්ය. [15] බුදුරජාණන් වහන්සේ ආළවකගේ වචනවලට කීකරු වුවද, උන්වහන්සේගේ සිත කිසිවිටෙකත් ඔහුට කීකරු නොවූ සේක. උන්වහන්සේ තම සන්සුන්භාවය රැකගනිමින් අනෙකාගේ මනෝභාවය පාලනය කළ සේක.
න්‍යාය: "ප්‍රතික්‍රියා නොකර ප්‍රතිචාර දැක්වීම" (Responding instead of Reacting). [16]
ප්‍රවේශය: මෙහිදී බුදුන් වහන්සේ භාවිත කළේ "ප්‍රගතිශීලී ස්ථාවරත්වය" (Progressive Assertiveness) යි. මුලින් සහයෝගය දක්වා (Cooperation), පසුව තීරණාත්මක ලෙස තම ස්ථාවරය ප්‍රකාශ කිරීම මගින් තමන් සතු සැබෑ පාලන බලය (Command) සන්නිවේදනය කළ සේක.
ප්‍රතිඵලය: ආළවකයා මවිතයට පත් විය. තමාට කීකරු වූ තැනැත්තා හදිසියේම නොසැලෙන පර්වතයක් මෙන් සිටීම ඔහු තුළ බුදුන් වහන්සේ කෙරෙහි "ගරුසරු බවක්" (Respect) ඇති කිරීමට හේතු විය. මෙම ප්‍රවේශය මගින් නායකයෙකු සතු නම්‍යශීලී බව සහ අවසාන තීරණාත්මක ස්ථාවරය අතර පවතින සීමාව (Boundary) කළමනාකරණය කරන ආකාරය පෙන්වා දෙයි. [17]
න්‍යයාත්මක පදනම (The Theory)
ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතික්‍රියා දැක්වීම (Responding vs. Reacting): බාහිර උත්තේජනයකට ක්ෂණිකව සහ ආවේගාත්මකව ප්‍රතික්‍රියා (React) නොකර, සිහියෙන් යුතුව සන්සුන්ව ප්‍රතිචාර (Respond) දැක්වීමේ මනෝවිද්‍යාත්මක න්‍යාය.චිත්තවේගී බුද්ධිය (Emotional Intelligence): තමාගේ චිත්තවේග පාලනය කරගනිමින්, බාහිර බලපෑම්වලට තම සිත යටපත් වීමට ඉඩ නොදී අනෙකාගේ මනෝභාවය පාලනය කිරීමේ හැකියාව. [18]
උපායමාර්ගික ප්‍රවේශය (The Strategic Approach)
ප්‍රගතිශීලී ස්ථාවරත්වය (Progressive Assertiveness): ගැටුමක ආරම්භයේදී සහයෝගීතාවය (Cooperation) පෙන්වා, ක්‍රමයෙන් තමන්ගේ සීමාවන් (Limits) ප්‍රකාශ කරමින් පාලන බලය තහවුරු කරගැනීමේ ප්‍රවේශය.අභ්‍යන්තර ස්වාධීනත්වය (Internal Autonomy): බාහිරින් කීකරු බවක් පෙන්වූවත්, නායකයාගේ අභ්‍යන්තර චින්තනය සහ අරමුණ සැමවිටම තමා සන්තකයේ තබා ගැනීම.
ක්‍රමවේදය සහ උපක්‍රම (Methodology & Tactics)
උපක්‍රමය: තීරණාත්මක ප්‍රතික්ෂේප කිරීම (Strategic Refusal).
ක්‍රමවේදය:
1. නිශ්චිත අවස්ථා ගණනාවක් (උදා: අවස්ථා තුනක්) සහයෝගය දක්වා අනෙකාගේ ආවේගය සමනය කිරීම.
2. නිසි මොහොතේදී (හතරවන අවස්ථාව) "නැත" යන්න ඉතා සන්සුන්ව ප්‍රකාශ කිරීම.
3. තීරණය ප්‍රකාශ කිරීමෙන් පසු කිසිදු චකිතයකින් තොරව අකම්පිතව (Unwavering) සිටීම.
කළමනාකරණ උපයෝගීතාවය (Management Applications)
සීමා නිර්ණය කිරීමේ මෙම බෞද්ධ ප්‍රවේශය නූතන කළමනාකරණයේ විවිධ පැති කෙරෙහි සෘජුවම බලපානු ලබයි. විශේෂයෙන්ම ආතති කළමනාකරණයේදී (Stress Management) වැඩබිමක මතු වන ඕනෑම අසහනකාරී තත්ත්වයක් හමුවේ නායකයා නොසැලී සිටීම අත්‍යවශ්‍ය වේ; මන්ද නායකයා ආතතියට පත් වුවහොත් මුළු පද්ධතියම (System) බිඳ වැටීමට ඉඩ ඇති බැවිනි. මෙය ආයතනයක ශික්ෂණ පාලනය (Discipline Control) සඳහා ද මහත් පිටුවහලක් වන අතර, සේවකයන්ට අවශ්‍ය නිදහස ලබා දෙන අතරම ආයතනික රීති උල්ලංඝනය වන තීරණාත්මක සීමාවලදී නායකයා නොසැලෙන ස්ථාවරයක් ගත යුතුය. [19]
එසේම සම්පත් කළමනාකරණයේදී විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන අසීමිත ඉල්ලීම් හමුවේ සම්පත් බෙදාහැරීම සිදු කිරීමේදී, නායකයා නම්‍යශීලී විය යුතු සහ ස්ථාවර විය යුතු සීමාවන් නිවැරදිව තීරණය කළ යුතුය. මෙමගින් නායකයාගේ පෞරුෂත්වය සහ ගෞරවය තහවුරු වන අතර, ඔහුගේ නොසැලෙන ස්ථාවරත්වය තුළින් අනුගාමිකයන් තුළ ඔහු කෙරෙහි නිරායාසයෙන්ම ගරුසරු බවක් (Respect) ඇති වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මෙම "ප්‍රගතිශීලී ස්ථාවරත්වය" නම් වූ කළමනාකරණ උපක්‍රමය තුළින්, ඕනෑම දැඩි ප්‍රතිවාදියෙකු මවිතයට පත් කරමින් පාලනය කළ හැකි බවත්, නොසැලෙන පර්වතයක් මෙන් සිටීමෙන් ඕනෑම ආවේගාත්මක බලවේගයක් මෙල්ල කළ හැකි බවත් මෙයින් මනාව තහවුරු වේ. [20]
4. ගැටලුව බුද්ධිමය මට්ටමකට පරිවර්තනය කිරීම (Reframing the Conflict)
මුල් අවස්ථා තුනේදී පැවතියේ "කායික හෝ ආවේගාත්මක" ගැටුමකි. බුදුරජාණන් වහන්සේ එම ගැටුම හතරවන අවස්ථාව වන විට "බුද්ධිමය" මට්ටමකට ඔසවා තැබූ සේක. [21] බලය මාරු කිරීම (Shift of Power Dynamics): ආළවක සිතුවේ ඔහු බුදුන් වහන්සේව පාලනය කරන බවයි. නමුත් සැබවින්ම සිදුවූයේ බුදුරජාණන් වහන්සේ විසින් ආළවකව උන්වහන්සේට අවශ්‍ය මාවතට (බුද්ධිමය සංවාදයට) රැගෙන ඒමයි. [22]
න්‍යාය: බලහත්කාරයෙන් අණ කරනවාට වඩා, අනෙකා ලවා ස්වේච්ඡාවෙන් ප්‍රශ්න කරවා පිළිතුරු සෙවීමට පෙළඹවීම. ප්‍රවේශය: ආළවකයාට තර්ජනය කිරීමට තිබූ අවස්ථාව ඉවත් කර, ඔහු ලවා ප්‍රශ්න අසන තත්ත්වයකට (Questioner) ඔහුව පත් කළ සේක. [23] ප්‍රතිඵලය: ගැටුම (Conflict) විසඳා ගැනීම සඳහා වූ "සංවාදයක්" (Dialogue) එතැනින් ආරම්භ විය. මෙම ප්‍රවේශය මගින් පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වය හෝ ආවේගය මත පදනම් වූ ගැටුමක්, ඵලදායී බුද්ධිමය සංවාදයක් දක්වා පරිවර්තනය කරන (Reframing) ආකාරයයි.
න්‍යායාත්මක පදනම (The Theory)
ප්‍රති-ව්‍යුහගත කිරීමේ න්‍යාය (Cognitive Reframing): සිද්ධියක් දෙස බලන දෘෂ්ටිකෝණය වෙනස් කිරීම මගින් එම සිද්ධියට දක්වන ප්‍රතිචාරය වෙනස් කිරීමේ මනෝවිද්‍යාත්මක න්‍යාය. [24] බල ගතික විද්‍යාව (Power Dynamics): ගැටුමක පාලනය (Control) එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට සූක්ෂ්ම ලෙස මාරු කිරීමේ ක්‍රියාවලිය.
උපායමාර්ගික ප්‍රවේශය (The Strategic Approach)
බුද්ධිමය උසස්භාවයට නැංවීම (Intellectual Elevation): කායික තර්ජන හෝ ආවේගාත්මක ගැටුම් මට්ටමෙන් ඉවත් වී, තර්කානුකූල සංවාද මට්ටමකට ගැටලුව ඔසවා තැබීම. සක්‍රීය සහභාගීත්වය (Engagement): ප්‍රතිවාදියා තර්ජනය කරන්නෙකුගේ (Aggressor) සිට ප්‍රශ්න විමසන්නෙකු (Inquirer) දක්වා පරිවර්තනය කිරීම මගින් ගැටුම සමනය කිරීම.
(ආළවක යක්‍ෂයා) :
පඤ්‌හං තං සමණ පුච්‌ඡිස්‌සාමි. සචේ මේ න බ්‍යාකරිස්‌සසි, චිත්‌තං වා තේ ඛිපිස්‌සාමි. හදයං වා තේ ඵාලෙස්‌සාමි. පාදේසු වා ගහෙත්‌වා පාරගංගාය ඛිපිස්‌සාමීති.
අර්ථවිවරණය: “ශ්‍රමණය, මම් තොපගෙන් පැනයක් අසන්නෙමි. ඉදින් ශ්‍රමණය, මට විසඳා නොකියන්නෙහි නම්, තොපගේ සිත හෝ විකල් කරන්නෙමි. තොපගේ හද හෝ පළන්නෙමි. දෙපා ගෙන හෝ ගංගාවෙන් එතෙරට විසිකරන්නෙමි.”
(භාග්‍යවතුන් වහන්සේ) :
“න ඛ්‌වාහං තං ආවුසෝ පස්‌සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්‌මකේ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදේවමනුස්‌සාය, යෝ මේ චිත්‌තං වා ඛිපෙය්‍ය හදයං වා ඵාලෙය්‍ය පාදේසු වා ගහෙත්‌වා පාරගංගාය ඛිපෙය්‍ය. අපි ච ත්‌වං ආවුසෝ පුච්‌ඡ යදා කංඛසීති.
අර්ථවිවරණය: “ඇවත, යමෙක් මාගේ සිත හෝ විකල් කරන්නේ ද, මාගේ හද හෝ පළන්නේ ද, දෙපා ගෙන හෝ ගංගාවෙන් එතෙරට විසිකරන්නේ ද, එබඳු වූවෙකු දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙහි මම් නොදකිමි. එනමුදු ඇවත, තා යමක් අසනු කැමැත්තෙහි නම් අසව.” [25]
අථ ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි.
ඉක්බිති ආළවක යක්‍ෂයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසීය.
කිංසූධ විත්‌තං පුරිසස්‌ස සෙට්‌ඨං කිං සු සුචිණ්‌ණං සුඛමාවහාති
කිං සු හවේ සාදුතරං රසානං කථං ජීවී ජීවිතමාහු සෙට්‌ඨන්‌ති?
“මෙලොව සත්වයාට ශ්‍රේෂ්ඨ වන්නේ කවර ධනයක් ද? එසේ ම සත්වයාට සැප ලැබෙන්නේ කුමක් මැනවින් පුරුදු කිරීමෙන් ද? මෙලොව ඇති රසයන් අතර ඒකාන්තයෙන් ම මිහිරි රසය කුමක් ද? කෙසේ ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යැයි කියත් ද?” [26]
ක්‍රමවේදය සහ උපක්‍රම (Methodology & Tactics)
උපක්‍රමය: ස්වේච්ඡා ප්‍රශ්නකරණයට පෙළඹවීම (Voluntary Inquiry).
ක්‍රමවේදය:
1 ප්‍රතිවාදියාට තර්ජනය කිරීමට තිබූ අවකාශය තම අකම්පිත බව හරහා අහුරා දැමීම.
2 බලහත්කාරයෙන් අණ දෙනවා වෙනුවට, ප්‍රතිවාදියා ලවාම ප්‍රශ්න විමසීමට අවස්ථාව සලසා දීම.
3 ප්‍රචණ්ඩත්වයේ සිට බුද්ධිමය ගවේෂණය දක්වා වූ "මාවත" නිර්මාණය කිරීම.
කළමනාකරණ උපයෝගීතාවය (Management Applications)
ගැටුමක් බුද්ධිමය මට්ටමකට පරිවර්තනය කිරීමේ මෙම ප්රවේශය නූතන කළමනාකරණයේදී අංශ කිහිපයකින් ප්‍රායෝගිකව යොදාගත හැකිය. මූලික වශයෙන් ගැටුම් නිරාකරණයේදී (Conflict Resolution), ගැටුමට සම්බන්ධ පාර්ශවයන් අතර පවතින පුද්ගලික වෛරීභාවය (Personal Enmity) ඉවත් කර, එම ගැටලුව හුදෙක් ආයතනික හෝ තාක්ෂණික කරුණක් ලෙස බුද්ධිමත්ව සාකච්ඡා කිරීමට මින් මග පෑදේ. මෙය පරිවර්තනීය නායකත්වයේ (Transformational Leadership) සුවිශේෂී ලක්ෂණයක් වන අතර, එහිදී නායකයා කරන්නේ අනුගාමිකයන් ලවාම ප්‍රශ්න කරවා පිළිතුරු සෙවීමට ඔවුන්ව පෙළඹවීමයි. [27]
එසේම චරිත කළමනාකරණයේදී, ආවේගාත්මක පුද්ගලයෙකුගේ එම දැඩි මානසික ශක්තිය විනාශකාරී ක්‍රියාවන්ගෙන් මුදවා ධනාත්මක විමර්ශනයක් (Positive Inquiry) සඳහා යොමු කිරීමට කළමනාකරුට හැකියාව ලැබේ. මෙය උපායමාර්ගික සන්නිවේදනය (Strategic Communication) සඳහා ද ඉතා වැදගත් වන අතර, බාහිරින් එල්ල වන තර්ජන හමුවේ නොසැලී සිටිමින් එම පීඩාකාරී වාතාවරණය ඵලදායී සංවාදයක් (Dialogue) සඳහා වූ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගැනීමට මින් ඉඩ සැලසේ. [28] බුදුරජාණන් වහන්සේ විසින් ආළවකව උන්වහන්සේට අවශ්‍ය බුද්ධිමය මාවතට රැගෙන ඒම තුළින් පෙනී යන්නේ, ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ බලය අවසානයේදී ප්‍රඥාව මත පදනම් වූ බලය හමුවේ ස්වේච්ඡාවෙන්ම දණ ගසන බවයි. [29]
5. බෞද්ධ කළමනාකරණයෙහි අභිප්‍රාය හා දැක්ම: පුද්ගල පරිවර්තනය සහ කළමනාකරණ ඉලක්ක (Mission and Vision)
ආළවක සූත්‍රයේ අවසාන සංවාදය හුදෙක් ප්‍රශ්නෝත්තර මාලාවක් නොව, පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක අනාගත දැක්ම (Vision) සහ මෙහෙවර (Mission) සකස් විය යුතු ආකාරය පිළිබඳ අගනා උපදේශනයකි. ගැටුම සමනය කිරීමෙන් පසු පුද්ගලයා දියුණුව කරා මෙහෙයවන ආකාරය පහත අයුරින් විග්‍රහ කළ හැකිය. [30]
I. ශ්‍රේෂ්ඨතම ප්‍රාග්ධනය සහ ආයතනික සංස්කෘතිය
ආළවක යක්ෂයා විමසූ ප්‍රථම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ ඕනෑම සාර්ථකත්වයක පදනම මෙසේ පැහැදිලි කළ සේක: "සද්‌ධීධ විත්‌තං පුරිස්‌ස සෙට්‌ඨං ධම්මෝ සුචිණ්‌ණෝ සුඛමාවහාති" (මෙලොව සත්වයාට ශ්‍රේෂ්ඨ වන්නේ ශ්‍රද්ධාව නමැති ධනය ය. සැප ලැබෙන්නේ ධර්මය මැනවින් පුරුදු කිරීමෙනි.)
කළමනාකරණ විවරණය: මෙහි 'ශ්‍රද්ධාව' යනු අන්ධ භක්තිය නොව, "විශ්වාසය සහ පක්ෂපාතීත්වය" (Trust & Loyalty) මත පදනම් වූ මානව ප්‍රාග්ධනයයි. ආයතනයක ශ්‍රේෂ්ඨතම ධනය වන්නේ සේවකයන් සහ පාරිභෝගිකයන් තුළ පවතින විශ්වාසයයි. 'ධර්මය මැනවින් පුරුදු කිරීම' යනු "යහපත් ආයතනික සංස්කෘතිය" (Organizational Culture) සහ චර්යාධර්ම (Ethics) අනුගමනය කිරීමයි. එය දිගුකාලීන තෘප්තිය සහ සැපය (Long-term Stability) සහතික කරයි. [31]
II. අර්බුද කළමනාකරණය සහ වගකීම (Crisis & Accountability)
අර්බුද හමුවේ නොසැලී සිටින ආකාරය පිළිබඳ බුදුන් වහන්සේ කළ දේශනාව නූතන Resilience (නම්‍යශීලී ඔරොත්තු දීමේ හැකියාව) පිළිබඳ දර්ශනයට සමාන වේ: "සද්‌ධාය තරති ඕඝං අප්‌පමාදේන අණ්‌ණවං, විරියේන දුක්‌ඛං අච්‌චේති පඤ්‌ඤාය පරිසුජ්‌ඣතීති" (සසර සැඩපහර තරණය කරන්නේ ශ්‍රද්ධාවෙනි. මහසමුදුර තරණය කරන්නේ අප්‍රමාදයෙනි. දුක ඉක්ම යන්නේ වීර්යයෙනි. ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.)
කළමනාකරණ විවරණය: ඕනෑම ආයතනයකට පැමිණෙන 'සැඩපහරවල්' වැනි අභියෝග ජය ගැනීමට අප්‍රමාදය (Proactivity) සහ වීර්යය (Execution) අත්‍යවශ්‍ය වේ. 'පිරිසිදු වීම' යනු කළමනාකරණයේදී "පාරදෘශ්‍යභාවය" (Transparency) වන අතර, එය ළඟා කර ගත හැක්කේ ප්‍රඥාවන්ත තීරණ ගැනීම මගිනි. [32]
III. වෘත්තීය නිපුණතා සහ වර්ධනය (Professional Competencies)
ධනය සහ කීර්තිය උපයා ගන්නා ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ ලබාදුන් උපදේශය නූතන "වෘත්තීයභාවය" (Professionalism) මනාව කියා පායි: "පතිරූපකාරී ධුරවා උට්‌ඨාතා වින්‌දතේ ධනං, සච්‌චේන කිත්‌තිං පප්‌පෝති දදං මිත්‌තානි ගන්‌ථති" (සුදුසු දෑ දැන කරන, වගකීම් උසුලන, නැගීසිටි වීර්යය ඇති තැනැත්තා ධනය ලබයි. සත්‍යයෙන් කීර්තියත්, දන් දීමෙන් මිතුරනුත් ලබයි.)
කළමනාකරණ විවරණය: මෙය කළමනාකරණයේ ප්‍රධාන කුසලතා හතරක් පෙන්වයි:
Strategic Efficiency (පතිරූපකාරී): නිවැරදි දේ නිවැරදි ආකාරයට කිරීම.
Accountability (ධුරවා): වගකීම් දැරීම.
Integrity (සච්ච): සත්‍යගරුක බව තුළින් සන්නාමය (Brand Image) සහ කීර්තිය ගොඩනැගීම.
Stakeholder Management (දදං): පරිත්‍යාගශීලී බව සහ සහයෝගීතාවය තුළින් ව්‍යාපාරික සබඳතා සහ මිතුරන් ගොඩනැගීම. [33]
IV. තිරසාර සාර්ථකත්වයේ කුළුණු හතර (Sustainability Framework)
ගිහිගෙයි වසන සාර්ථක කළමනාකරුවෙකු සතු විය යුතු මූලික ගුණාංග හතරක් බුදුන් වහන්සේ මෙසේ අවධාරණය කළ සේක: "සච්‌චං ධම්මෝ ධිති චාගෝ ස වේ පෙච්‌ච න සෝචති" (සත්‍යයත්, ඉන්ද්‍රිය දමනයත්, ධෛර්යයත්, ත්‍යාගයත් යන සිව් දහම් ඇත්නම් හේ ශෝක නොකරයි.)
කළමනාකරණ විවරණය: පරලොව (අනාගතය) ගැන බිය නොවීමට නම්, එනම් "තිරසාර සාර්ථකත්වය" (Sustainability) ළඟා කර ගැනීමට නම් සත්‍යවාදී බව, ආවේග පාලනය (Self-discipline), අසීරු අවස්ථාවල නොසැලෙන ධෛර්යය (Fortitude) සහ සමාජ වගකීම (Giving back to society) තිබිය යුතුම බව මෙහි දාර්ශනික හරයයි. [34]
V. ප්‍රතිඵලය: සේවාදායක පරිවර්තනය (Customer Transformation)
සංවාදය අවසානයේ ආළවකයා පත්වන තත්ත්වය කළමනාකරණයේ උච්චතම අවස්ථාව වන "Brand Advocacy" හෙවත් පුද්ගලයා ආයතනික දැක්මෙහි ප්‍රචාරකයෙකු බවට පත්වීමයි: "සෝ අහං විචරිස්‌සාමි ගාමා ගාමං පුරා පුරං, නමස්‌සමානෝ සම්‌බුද්‌ධං ධම්‌මස්‌ස ච සුධම්‌මතන්‌ති" (ඒ මම් බුදුරජාණන් වහන්සේට සහ ධර්ම ගුණයට නමස්කාර කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට සැරිසරා යන්නෙමි.)
කළමනාකරණ නිගමනය: යහපත් කළමනාකරණයක් සහ නිවැරදි අභිප්‍රේරණයක් තුළින් අතිශය ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු පවා පද්ධතියේ පක්ෂපාතී අනුගාමිකයෙකු බවට පත් කළ හැකි බව ආළවකයාගේ මෙම ප්‍රකාශය තුළින් තහවුරු වේ. [35] ආළවක දමනය තුළින් ප්රකට වන මෙම මනෝ-කළමනාකරණ ප්රවේශය වර්තමානයේ වඩාත් සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන විවිධ ක්ෂේත්ර ගණනාවකට අතිශය සාර්ථක ලෙස යොදාගත හැකිය. එම ක්ෂේත්ර සහ ඒවායේ භාවිතය පහත පරිදි නම් කළ හැකිය:
1. අධ්යාපන සහ පන්තිකාමර කළමනාකරණය (Classroom Management)
පන්තිකාමරයක් තුළ සිටින අකීකරු හෝ ප්රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන සිසුන් දමනය කිරීමට මෙම ක්රමය ඉතා යෝග්ය වේ. සිසුවෙකු දැඩි කෝපයෙන් හෝ විරෝධතාවයකින් සිටින විට, ගුරුවරයා ඔහු සමඟ ඍජු ගැටුමකට (Power struggle) නොගොස්, මුලින් නම්යශීලී වී සිසුවාගේ ආවේගය බැහැර වීමට ඉඩ හැරිය යුතුය. පසුව සිසුවා සන්සුන් වූ විට, බුද්ධිමය සංවාදයක් හරහා ඔහුගේ වැරැද්ද ඔහුටම වැටහෙන සේ කරුණු පැහැදිලි කිරීමෙන් ස්ථිරසාර චර්යාමය වෙනසක් ඇති කළ හැකිය.
2. පවුල් උපදේශනය සහ ගෘහස්ථ කළමනාකරණය (Family Counseling & Home Management)
පවුල තුළ ඇති වන ගැටුම්, විශේෂයෙන්ම යොවුන් වියේ දරුවන් සහ දෙමාපියන් අතර ඇති වන මතභේද නිරාකරණයට මෙය යොදාගත හැකිය. දෙමාපියන් තම අණසක පැතිරවීමට වඩා, දරුවාගේ තර්කවලට මුලින් සවන් දී (Time and Space ලබා දී), දරුවා මානසිකව සන්සුන් වූ පසුව පවුලේ සීමාවන් (Boundaries) සහ සදාචාරාත්මක පදනම පැහැදිලි කර දීමෙන් පවුල් සබඳතා ශක්තිමත් කළ හැකිය.
3. දේශපාලන සහ රාජ්යතාන්ත්රික සබඳතා (Political & Diplomatic Negotiations)
ජාත්යන්තර මට්ටමේ හෝ දේශීය මට්ටමේ පවතින දේශපාලන අර්බුද නිරාකරණය කිරීමේදී "උපායමාර්ගික නම්යශීලීභාවය" අතිශය වැදගත් වේ. ප්රතිවාදී පාර්ශවයන්ගේ දැඩි ඉල්ලීම් හමුවේ ඍජුවම "නැත" කියා ගැටුම් ඇති කරගන්නවා වෙනුවට, යම් සීමාවකට ඔවුන්ට අවකාශය ලබා දී, පසුව සාකච්ඡාමය මාවතකට (Dialogue) ඔවුන්ව අවතීර්ණ කර ගැනීම මෙමගින් කළ හැකිය.
4. මානව සම්පත් කළමනාකරණය සහ වෘත්තීය සමිති පාලනය (HRM & Trade Union Management)
ආයතනයක වෘත්තීය සමිති ක්රියාමාර්ග හෝ සේවක අසහනයන් පවතින විට, කළමනාකාරිත්වය දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය නොකර, මුලින් සේවක ඉල්ලීම්වලට සහ ඔවුන්ගේ විරෝධතාවලට සවන් දිය යුතුය (Active Listening). සේවකයන්ගේ "ඊගෝව" සහ ආවේගය සමනය වූ පසු, ආයතනයේ පවතින සැබෑ තත්ත්වය සහ සීමාවන් බුද්ධිමත්ව පෙන්වා දීමෙන් වැඩ වර්ජන සහ ගැටුම් වළක්වා ගත හැකිය.
5. පොලිස් සහ ආරක්ෂක අංශවල මහජන සබඳතා (Public Relations in Law Enforcement)
උද්ඝෝෂණ හෝ කළහකාරී පිරිස් පාලනය කිරීමේදී ආරක්ෂක අංශවලට මෙම මූලධර්මය බෙහෙවින් ප්රයෝජනවත් වේ. අනවශ්ය ලෙස බලය යොදා තත්ත්වය උග්ර කරනවා වෙනුවට, ජනතාවගේ ආවේගය බැහැර වීමට ඉඩ සලසා දෙමින් (De-escalation tactics), පසුව ඔවුන්ගේ නායකයන් සමඟ බුද්ධිමය සංවාදයකට එළඹීමෙන් ජීවිත හා දේපළ හානි අවම කර ගත හැකිය.
6. මානසික සෞඛ්ය සහ පුනරුත්ථාපන ක්ෂේත්රය (Mental Health & Rehabilitation)
මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් හෝ චර්යාමය දෝෂ සහිත පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේදී, ඔවුන්ගේ මුල්කාලීන ප්රචණ්ඩ හැසිරීම් ඉවසීමෙන් දරාගෙන, ඔවුන් තුළ පවතින "සටන්කාමී මනෝභාවය" ක්රමයෙන් ලිහිල් කර, ඔවුන්ව ස්වයං-අවබෝධය (Self-Insight) කරා මෙහෙයවීමට මෙම බෞද්ධ මනෝ-කළමනාකරණ ප්රවේශය යොදාගත හැකිය.
අවසාන පණිවිඩය:
බුදුරජාණන් වහන්සේගේ මෙම ප්රවේශය නූතන කළමනාකරුවෙකුට දිය හැකි උසස්ම පාඩමයි: "ගැටුමක් හමුවේ මුලින් නම්යශීලී වන්න, එමගින් ප්රතිවාදියාගේ ආවේගය පාලනය කරන්න, පසුව නිවැරදි මොහොතේදී ස්ථාවර වී ගැටලුව බුද්ධිමය සංවාදයකට හරවා විසඳුම් කරා ගෙන යන්න."
පාදක සටහන් (Footnotes)
[1] බෞද්ධ කළමනාකරණ නිර්වචනයට අනුව, මෙය අනිත්යතාවයේ "පැවතීම" හඳුනාගෙන එය උච්චතම ඵලය කරා මෙහෙයවන උපායමාර්ගික ශික්ෂණයකි.
[2] මනෝවිද්‍යාවේ එන 'Catharsis' සංකල්පය (Sigmund Freud). අභිධර්මයේදී මෙය ද්වේෂ සහගත ජවන් සිතුවිලි ස්වභාවිකවම ක්ෂය වීමට ඉඩ හැරීම ලෙස විග්‍රහ වේ.
[3] නූතන කළමනාකරණයේ එන 'Aikido Style' හෙවත් ප්‍රතිවාදියාගේ වේගය සමනය කිරීමේ උපක්‍රමය.
[4] ස්නායු විද්‍යාවේ (Neuroscience) එන 'Amygdala Hijack' තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය කාලය ලබා දීම.
[5] සංයුත්ත නිකාය, යක්ඛ සංයුත්තය, ආළවක සූත්රය (10.1.12).
[6] බෞද්ධ කළමනාකරණ නිර්වචනයට අනුව, මෙය හේතු-ඵල දහරාව තුළ "විරෝධය" නැමැති විචල්‍යය ඉවත් කිරීමේ කලාවයි.
[7] Daniel Goleman ගේ 'Emotional Intelligence' (චිත්තවේගී බුද්ධිය) සංකල්පයට අනුකූල වේ.
[8] Carl Rogers ගේ 'Active Listening' සහ 'Empathy' සංකල්ප හරහා ගැටුම් සමනය කිරීම මෙහිදී අදාළ වේ.
[9] බෞද්ධ කළමනාකරණ නිර්වචනයෙහි එන "අනිත්‍යතා දර්ශනයේ උච්චතම ඵලය" හෙවත් අධ්යාත්මික සන්සුන් භාවය ලබා ගැනීම.
[10] පියනන්ද කළමනාකරණ නිර්වචනයට අනුව, මෙය අනිත්‍යතාවය ($A$) හමුවේ සිතේ පැවැත්ම සහ අරමුණ උපායමාර්ගිකව නඩත්තු කිරීමේ අවස්ථාවයි.
[11] Hersey සහ Blanchard ගේ 'Situational Leadership Model' මෙහිදී ආළවකයාගේ මානසික මට්ටමට අනුව බුදුන් වහන්සේ තම නායකත්ව ස්වරූපය වෙනස් කළ ආකාරය සමඟ සැසඳේ.
[12] මෙය මනෝවිද්‍යාවේ එන 'Internal Locus of Control' හෙවත් තමාගේ තීරණ බාහිර බලපෑම්වලට යටත් නොකිරීමේ ගුණයයි.
[13] සංයුත්ත නිකාය, ආළවක සූත්‍රය (10.1.12). සතරවන අවස්ථාවේදී අනිත්‍යතාවයේ "නිරෝධය" පෙන්වමින් පද්ධතියේ සීමාව සලකුණු කිරීම.
[14] නූතන ව්‍යාපාරික ලෝකයේ 'Win-Win' සාකච්ඡා සම්මුති කලාව (Negotiation Skills) සඳහා ආළවක දමනය පූර්වාදර්ශයකි.
[15] මෙය පියනන්ද කළමනාකරණ නිර්වචනයේ එන "අනිත්‍යතාවයේ නිරෝධය" (Ceasing/Termination) පිළිබඳ අවස්ථාවයි. පද්ධතියක් විසිරී යාම (Entropy) වැළැක්වීමට මෙවැනි තීරණාත්මක සීමා නිර්ණයන් (Boundaries) අත්‍යවශ්‍ය වේ.
[16] Viktor Frankl ගේ මනෝවිද්‍යාත්මක විග්‍රහයට අනුව, උත්තේජනය සහ ප්‍රතිචාරය අතර පවතින "නිදහස් අවකාශය" භාවිත කිරීම මෙහිදී බුදුන් වහන්සේ ප්‍රකට කළ සේක.
[17] කළමනාකරණයේදී මෙය 'Assertive Leadership' ලෙස හඳුන්වන අතර, අනිත්‍යතාවය (A) හමුවේ වුවද පොදු අරමුණ නිරෝධයට පත් නොවී රැකගැනීමේ උපක්‍රමයකි.
[18] Daniel Goleman ගේ 'Self-Regulation' සංකල්පය. බාහිර බලපෑම්වලට යටත් නොවී තම අධ්‍යාත්මික අරමුණ පවත්වා ගැනීම මෙහිදී අදහස් වේ.
[19] පියනන්ද නිර්වචනයට අනුව, පුද්ගල ලෞකික හා අධ්යාත්මික උච්චතම ඵලයට ළඟාවීම සඳහා ආයතනික හෝ පෞද්ගලික ශික්ෂණය (Discipline) පර්වතයක් මෙන් ස්ථාවර විය යුතුය.
[20] මූලාශ්‍රය: ආළවක සූත්රය, සංයුත්ත නිකාය. බුදුරජාණන් වහන්සේගේ අකම්පිත බව (ස්ථාවරත්වය) ඉදිරියේ ආළවකයාගේ මෝහය සහ ද්වේෂය නිරෝධය වීම මෙහි විද්‍යාත්මක අවසානයයි.
[21] පියනන්ද කළමනාකරණ නිර්වචනයට අනුව, මෙය අනිත්‍යතාවය (A) හඳුනාගෙන, පද්ධතියේ ආරම්භක ප්‍රචණ්ඩත්වය (Entropy) නිරෝධය කොට උසස් අධ්‍යාත්මික ඵලයක් කරා පද්ධතිය යොමු කිරීමේ ක්‍රියාවලියයි.
[22] බල ගතික විද්‍යාවේදී (Power Dynamics) මෙය "Coercive Power" (බලහත්කාරය) සිට "Expert/Referent Power" (බුද්ධිමය/ගෞරවනීය බලය) දක්වා වූ මාරුවක් ලෙස අර්ථ දැක්විය හැකිය.
[23] මනෝවිද්‍යාවේ එන 'Socratic Method' හෙවත් ප්‍රශ්න විමසීම හරහා අවබෝධය ලබාදීමේ ක්‍රමවේදය මෙහිදී බුදුන් වහන්සේ ඉතා සූක්ෂ්මව භාවිත කළ සේක.
[24] Aaron Beck වැනි මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, සංජානනීය ප්‍රති-ව්‍යුහගත කිරීම (Cognitive Reframing) මගින් පුද්ගල චර්යාවන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකිය.
[25] සංයුත්ත නිකාය, ආළවක සූත්රය (10.1.12). බුදුන් වහන්සේගේ අභයනාදය පියනන්ද නිර්වචනයේ එන "අකම්පිත දර්ශනයේ" ප්රකාශනයකි.
[26] මෙම ප්‍රශ්නාවලිය තුළින් ආළවකයාගේ මනෝභාවය ආත්මාර්ථකාමීත්වයේ සිට පරමාර්ථකාමීත්වය (Social and Spiritual Wealth) දක්වා යොමු වන ආකාරය පෙනේ.
[27] James MacGregor Burns ගේ 'Transformational Leadership' න්‍යාය අනුව, නායකයා අනුගාමිකයාගේ සදාචාරාත්මක සහ බුද්ධිමය මට්ටම ඉහළ නැංවිය යුතුය.
[28] පියනන්ද නිර්වචනයෙහි එන "පුද්ගල ලෞකික හා අධ්යාත්මික අනිත්යතා දර්ශනයේ උච්චතම ඵලය" යනු මෙලෙස ආවේගය ප්‍රඥාව බවට පත් කිරීමේ ප්‍රතිඵලයයි.
[29] මූලාශ්‍රය: ආළවක සූත්රය. ගැටුමක් විසඳීමේ අවසාන පියවර වන්නේ පාර්ශවයන් අතර පවතින "සමාන බුද්ධිමය තලයක්" (Common Intellectual Ground) නිර්මාණය කිරීමයි.
[31] නූතන ව්‍යාපාරික දර්ශනයේ එන 'Social Capital' (සමාජ ප්‍රාග්ධනය) යන්නෙහි ගැඹුරු අර්ථය ශ්‍රද්ධාව (Saddha) තුළ අන්තර්ගත වේ.
[32] ප්‍රඥාව (Panna) යනු කළමනාකරුවෙකු සතු විය යුතු ඉහළම විචාර බුද්ධියයි. එය අභ්‍යන්තර පිරිසිදු බව (පාරදෘශ්‍යභාවය) සහ තීරණ ගැනීමේ නිරවද්‍යතාවය සහතික කරයි.
[33] මෙය 'Balanced Scorecard' වැනි නූතන මිනුම් දණ්ඩකට වඩා ගැඹුරු, සාර්ථකත්වයේ භෞතික හා සදාචාරාත්මක සමතුලිතතාවය ප්‍රකට කරන මිනුම් දණ්ඩකි.
[34] 'Triple Bottom Line' (People, Planet, Profit) යන සංකල්පයටත් වඩා එහා ගිය, තිරසාරත්වය සඳහා පුද්ගල චරිතය (සච්ච, දම, ධිති, චාග) පදනම් වන ආකාරය මෙහි පෙන්වා දෙයි.
[35] පියනන්ද කළමනාකරණ නිර්වචනයේ අවසාන ඉලක්කය වන "අධ්‍යාත්මික අනිත්යතා දර්ශනයේ උච්චතම ඵලයට ළඟාවීම" යන්න ආළවකයාගේ මෙම පරිවර්තනය මගින් මනාව ස්ඵුට වේ.
Comments